Wednesday 8th of July 2026

English Tamil
Advertiesment


ඡන්දෙ කාලේ ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා


2026-07-08 1244

 

- විපක්ෂ නායක - 

 

ගොවියාගේ හිත දිනාගෙන ගොවියාට ආරක්ෂණීය පොරොන්දු මාලාවක් ඉදිරිපත් කර බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ වන විට ගොවි ජනතාව අතරමං කර අනාථ කර ඇති බවත් එදා ගොවියා දෙවියා කියා ගොවියා රජවරුන් බවට පත් කරන්න අවශ්‍ය බවට පවසා ආණ්ඩු බලය ලබා ගත් වත්මන් රජයේ සමහරුන් ගොවියාට අද අපහාස අවලාද කරමින් කසිප්පුකාරයන් බවට හංවඩු ගැසීමත් කෘත්‍රීම ගොවියන් වී රටට බත සපයන්නේ නැති බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවි ජනතාව රජකරවනවා යැයි තීන්දු වන්නේ ගොවියාගේ උප්පත්තිය අනුව බවට දැඩි අපහාස උපහාස අවලාද කරමින් යන බවත් මේ ආකාරයට ගොවියාට පහර පිට පහර එල්ල කරන යුගයක එදා ගොවිබිම්වලට ගොස් ගොවියාගේ දුක කදුල වේදනවා ගැන කතා කර ගොවියාට පොරොන්දු වූ සහන අද ලබ දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

වී කිලෝවකින් රු. 17ක් පාඩුයි

 

වත්මන් රජය පවසන ආකාරයට වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු. 137ක් වැය වුවත් අද වී කිලෝවක් සඳහා රු. 120ක ස්ථාවර මිලක් ලබා දී දශලක්ෂ ගණනින් ඡන්දය ලබා දුන් ගොවි ජනතාවගේ වී කිලෝවට රු. 17ක් මේ රජය පාඩු කරන බවත් එදා ගොවි බිමට ගොස් ගොයම් කකා වී කිලෝවට රු. 150ක ස්ථාවර මිලක් රටේ නීතිය බවට පත් කරන අණපනත් පවා ගෙන එන බවට රජයේ මැති ඇමතිවරු පවා පැවසූ බවත් අද වන විට ගොවියාගේ නිෂ්පාදන චක්‍ර‌යේ සෑම ක්‍රියාවක්ම අසාර්ථක වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

ස්ථාවර මිලක් නැතිව ගොවියා අසරණ වෙලා

 

ගුණාත්මක පොහොර, බීජ, කෘෂි රසායන ආදිය නියමිත වෙලාවට නොලැබෙන බවත් පොහොර සහනාධාරය පවා ප්‍රමාණවත් නොවන බවත් තෙල් පොහොරවල මිල අධික වී වෙනස් වෙමින් යන බවත් මේවායේ ගුණාත්මකභාවය ගැන ගැටලු ඇති බවත් කෘෂි උපකරණවල මිල ඉහළ ගොස් ඇති බවත් අලි මිනිස් ගැටුම නිසා බරපතල ලෙස වගා හානි පවා සිදුව ඇති බවත් කණකර උගස් කර ගොවිතැන් කරන ජනතාවට ස්ථාවර මිලක් නොමැතිව අද අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

ගොවියාට හානියක් නොවන ලෙස ආනයන කටයුතු කරන්න

 

එම නිසා කරුණාකර වීවලට සාධාරණ සහතික මිල ලබා දී නිෂ්පාදන මිල ආවරණය වන මිලක් ලබා දෙන්න කටයුතු කරන ලෙසත් පොහොර සහනාධාරය වැඩි කරන ලෙස ඉල්ලා සිටින බවත් කෘෂි උපකරණ හා ඉන්ධන මිල ඉහළ යාම නිසා ගොවියාගේ වියදම වැඩි වී ඇති නිසා ඉන්ධන ක්ෂේත්‍රයෙන් සහනයක් ලබා දෙන ලෙසත් දේශීය ගොවියාට හානිදායක ලෙස සහන ආනයනය නොකර ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

ගොවි ජනතාව දුන් වරමට ගරු කරන්න

 

වී ගොවියා පමණක් නොව අල ලූණු ගොවියාගේ අස්වනු නෙලන කාලයට පවා එම ද්‍රව්‍ය ආනයනය කරන නිසා එය නොකරන ලෙස ඉල්ලා සිටින බවත් අලි මිනිස් ගැටුම වන සත්ව මිනිස් ගැටුමට විසදුම් ලබා දීම සේම ගොවි ජනතාවගේ චරිතය ඝාතනය නොකරන ලෙස ඉල්ලා සිටින බවත් දශලක්ෂ ගණන් ගොවියා වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා විශාල වරමක් ලබා දුන් නිසා ඒ වරමට ගරු කර ගොවිජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

ගොවි ජනතාවගේ යෝජනා ක්‍රියාත්මක කරන්න

 

බලය ලැබුණා කියා ගොවියා සහ ඊට සහයෝගය දුන් ජනතාව අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් අප රටේ ගොවි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන යුගයක ගොවි ජනතාවගේ දුකට ඇහුම්කන් දෙන්නට රජයට අපොහොසත් වන යුගයක ආරම්භයේ දීම ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන සයවදෑරුම් ගොවිජන යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් මෙහි අඩංගු යෝජනා සියල්ලම හැන්සාඩ් ගත කරන බවත් මේ යෝජනා ගැන සංවේදීව සානුකම්පිතව අවධානය යොමු කර ගොවි ජනතාව අනාථ නොකර ඔවුන්ගේ අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

ගොව ජනතාව වෙනුවෙන් කවුරු නැතත් අපි ඉන්නවා

 

රජය එසේ නොකළහොත් එය කරන්නේ ජනතා වරම උල්ලංඝනය කිරීමක් බවත් වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංස්කෘතිය හා බද්ධ වූ ගොවිතැන විනාශ කිරීම යනු ගොවියාගේ මූලික හා මානව අයිතිය උල්ලංඝනය කිරීම බවත් එසේ නොකර මෙරට ගොවි ජනතාව සුරක්ෂිත කර ගොවි අයිතිය රැකගන්න වහාම කටයුතු කරන ලෙසත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ලෙස ගොවි ජනතාවගේ අයිතිය සුරක්ෂිත කරන්න කැපවෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment